Sunday, August 3, 2014

විවෘත විශ්වවිද්‍යාලයත් පෞද්ගලීකරණයට - සිසුන් සටන් මගට



1980 මැයි මාසයේ විශේෂ පනතට අනුව විවෘත විශ්වවිද්‍යාලය තුළ ගාස්තු අයකිරීම් කළ හැක්කේ මේ රටේ ජනතාවට දැරිය හැකි ලෙස පමණක් බවත් නමුත් අද වන විට වසරකට රුපියල් 50,000 - 60,000 පමණ වන ලෙස ගාස්තු අයකිරීම් වැඩි වී ඇති බවත් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව සඳහන් කරයි. 
එම එකමුතුවේ සම කැඳවුම්කරු අමිල සඳරුවන් ප‍්‍රකාශ කළේ මේ සූදානම රටේ දුප්පත් දුප්පතුන්ගේ බලාපොරොත්තු පසෙකින් තබා එක්තරා සුළුතර පිරිසක් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට බවත් එහි තේරුම තවත් එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට විවෘත විශ්වවිද්‍යාලය පත් කිරීම බවත්ය. 
ඔහු මේ අදහස් දැක්වූයේ පෙරේදා (28) දින රාජගිරිය එම්. ඞී. ඞී. ආර්. ශාලාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. 
විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව විසින් විවෘත විශ්වවිද්‍යාලය තුළ පවතින මර්දනකාරි වාතාවරනය හා අසාධාරණ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් පෙරෙදා (28) උදෑසන බාරදුන් අතර ඉන් අනතුරුව එම පැමිණිල්ල හා විශ්වවිද්යාලලය වර්තමාන තත්වය පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එහිදී විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු අමිල සඳරුවන් විසින් දැක්වූ අදහස්
‘‘විශ්වවිද්‍යාලය තුළ සියළුම ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් අහෝසි කරලා තියෙනවා. එම ක‍්‍රියාකාරකම් නැවත පණගැන්වීම උදෙසා තමයි අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ. ඒක මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ලැබුණ අයිතියක්. ඒ අයිතීන් දිනාගැනීම උදෙසා මුලින්ම නීත්‍යනුකූල මාරගයට යා යුතුයි කියලා හිතුවා ඒ නිසයි අපි අද දිනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. 
මීට වසර එක හමාරකට පෙර වර්තමාන උපකුලපතිවරයා පැමිණීමට පෙර හිටපු සියළුම උපකුළපතිවරුන් ශිෂ්‍යයින්ගේ මේ අයිතීන් පිළිගෙන තිබුණා. ගෙවුණු වසර එක හමාර ඇතුළේ ශිෂ්‍ය සංගමය, ක‍්‍රිඩා සංගමය අහෝසි කිරීම, ක‍්‍රීඩා කටයුතු සඳහා අවස්ථාව ලබා නොදීම සහ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් සහභාගී වන සියළුම ක‍්‍රියාකාරකම් අහෝසි කරලා තියෙනවා. 
 ඕනෑම විශ්වවිද්‍යාලයක ශිෂ්‍යන්ගේ අධ්‍යන කටයුතු ගැන සාකච්ඡුා කිරීම සඳහා ඇති ප‍්‍රධානම ඒකකය වෙන්නේ පීඨ මණ්ඩලය පීඨ මණ්ඩලය, ලෝකයේ තියන සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍යයින්ට පීඨ මණ්ඩලය සඳහා සහභාගීවීමට අවසර තියෙනවා. අපේ විශ්වවිද්‍යාලය තුළත් මෙය අඛණ්ඩව ක‍්‍රියාත්මක වුණා. නමුත් වත්මන් උපකුළපතිවරයා මේ වන විට පීඨ මණ්ඩල ශිෂ්‍ය සහභාගීත්වය තහනම්කරලා තියෙනවා. එය ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් විශාල පහරක්. අපි හිතන්නේ එය ශිෂ්‍යයින්ට තමන්ගේ අධ්‍යාපනය සඳහා පෙනී සිටීමට ඇති අයිතිය අහෝසි කිරීමක් කියලා.
විශ්වවිද්‍යාලය තුළ ඉඩකඩ පහසුකම් ඉතාම අවමයි. මේ නිසාම ශිෂ්‍යයින්ට පාඩම් කිරීමට ස්ථානයක් නෑ. මේ නිසා ශිෂ්‍යයින් විසින් නිපදවාගන්නා ලද බංකු සියල්ල ශිෂ්‍යයින් එලවා දමලා එක රැුයකදී කඩා ඉවත්කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂණ ව්‍යාපාර කරලා, පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අද වෙනතුරු විශ්වවිද්‍යාල පරිපාලනය කිසිඳු පියවරක් අරගෙන නෑ. මේ වෙනුවෙන් ශිෂ්‍යයින්ට ලැබිලා තියෙන එකම දේ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සාදා ඇති සිමෙන්ති බංකු පවා කඩා ඉවත් කිරීමයි. ඒකේ අතුරු ප‍්‍රතිඵලයක් විදියට අද වෙද්දී ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයෙන් සවස 05 වන විට ඉවත්වෙන්න වෙලා තියෙනවා. 
විශ්වවිද්‍යාල පරිපාලනය පුන පුනා කියන්නේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 40%ක් රැුකියා කරන සිසුන් කියන කාරණය. රැුකියා කරන ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයට එන්න පුළුවන් වෙන්නේ හවස් වරුවේ. උදේ වරුවේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හවස් වරුවේ කරන්න මේ රටේ රැුකියාවල් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයට එන්න පුළුවන් හොඳම වෙලාව හවස් වරුව. නමුත් හවස 05 වන විට සිසුන්ව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න තීරණයක් අරගෙන තියෙනවා. මේ සඳහා විවිධ හේතූන් ඉදිරිපත් කරනවා. නමුත් ඒ කිසිම හේතුවක් ලිඛිතව ඉදිරිපත් කරන්නේ නෑ. 
මෙවැනි බරපතල ශිෂ්‍ය මර්දනයක් විශ්වවිද්‍යාලය තුළ ක‍්‍රියාත්මක වෙනවා. ඊට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි සාකච්ඡුා කරමින් සිටිනවා. ඒ සාකච්ඡුා තුළ පැහැදිලිවම තියෙන්නේ නීත්‍යානුකූල පියවරයන්ට යා යුතුයි කියලා. නමුත් ඒ නීත්‍යානුකූල ක‍්‍රියාමාර්ග අතරේ අපි අඛණ්ඩව බලකිරීම් කරනවා විශ්වවිද්‍යාල පරිපාලනයට මෙම ප‍්‍රශ්න විසාඳා දෙන ලෙස. 
මේ විශ්වවිද්‍යාලය තුළ තියෙන තවත් ගැටළුවක් තමයි ආරක්ෂක අංශය. මේ අරක්ෂක අංශයට අසීමිත බලතල දීලා තියෙන්නේ. විනය විරෝධී ක‍්‍රියාවක් විශ්වවිද්‍යාලය තුළ සිදුවුවහොත් එය නැවැත්වීමේ බලය පමණයි විශ්වවිද්‍යාලයක ආරක්ෂක අංශයකට තියෙන්නේ. විනය ක‍්‍රියාමාර්ග ගැනීමේ බලයක් ආරක්ෂක අංශවලට නෑ. නමුත් අද වන විට විවෘත විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිළධාරීන් තමයි සියළුම විනය ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන්නේ. ශිෂ්‍ය උපදේශකවරු එම ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අඩම තරමේ දැනුවත් භාවයක්වත් නෑ. අදවන විට විශ්වවිද්‍යාලය පවතින්නේ එක එක අයගේ අත්තනොමතික තීරණ අනුව. මෙම විශ්වවිද්‍යාලය කිසිවකුගේ පෞද්ගලික දේපළක් නොවෙයි. 
විශ්වවිද්‍යාලය තුළ විශාල වශයෙන් ශිෂ්‍යයින් මර්දනයට ලක්කරනවා. යම්කිසි ශිෂ්‍යයෙක් තමන්ගේ අයිතීන් උදෙසා කතා කළහොත් වෙන එකම දේ ඔහුට උපකුළපතිවරයා හෝ ප‍්‍රධාන ආරක්ෂක නිළධාරියා හමුවෙන ලෙස පෞද්ගලිකව ආරාධනාවක් කරනවා. එය ශිෂ්‍යයින්ට විනය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ඇති පටිපාටියේ අංගයක් නොවෙයි. නමුත් ඒ ආරාධනාව නොපිළිගන්නවා නම් එම ශිෂ්‍යයාගේ ගෙදරට ලිපියක් යවීම තමයි එකම ක‍්‍රමය වෙන්නෙ. ඔහුට ඉදිරිපත් කරන චෝදනාව වෙන්නේ විනය විරෝධී ලෙස හැසිරීම. විනය විරෝධී හැසිරීම යන්නට කිසිඳු අර්ථදැක්වීමක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඊට විරුද්ධ වෙනවා නම් එම ශිෂ්‍යයාව දින නියමයකින් තොරව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කිසිඳු පැකිලීමකින් තොරව පරිපාලනය කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. එසේ වෙනස් කිරීමට නොහැකි නම් හෙට දවසේ අනිවාර්යයක් ලෙස විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලීකරණය කිරීම සිදුවෙනවා. මේ විශ්වවිද්‍යාලය සමහර විට රාජ්‍ය ලාංඡුනය යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්වේවි. මොකද පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා සමාජය හමුයේ ඇති එකම මාර්ගය මේ විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලීකරණය කිරීමයි. 
1980 මැයි මාසයේ විශේෂ පනතක් යටතේ ගෙනාව මේ විවෘත විශ්වවිද්‍යාලයේ, එම පනතට අනුව ගාස්තු අයකිරීම් කළ හැක්කේ මේ රටේ ජනතාවට දැරිය හැකි ලෙස. නමුත් අද වන විට වසරකට රුපියල් 50,000 පමණ වන ලෙස ගාස්තු අයකිරීම් වැඩිවෙලා. වසරකට රුපියල් 50,000ක් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ මිනිසුන් කීයෙන් කීදෙනාටද? මේ සූදානම මේ රටේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ගේ බලාපොරොත්තු පැත්තකින් තියලා මේ රටේ එක්තරා සුළුතර පිරිසක් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදෙනනයි විවෘත විශ්වවිද්‍යාලය භාවිතා කරන්නේ. ඒ කියන්නේ තවත් එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම. ඒක තමයි විවෘත විශ්වවිද්‍යාලය ගෙනියන්න හදන ගමන. 
මෙතෙක් විශ්වවිද්‍යාලයේ ගාස්තු අයකිරීමේ ක‍්‍රමවේදයක් තිබුණා. ඒ ක‍්‍රමවේදයත් සාධාරණයි කියලා කියන්න බෑ. නමුත් මෙතෙක් ඒ ක‍්‍රමවේදයට අනුව ගාස්තු වැඩිවීම් සිදුවුණේ වසරකට 10%කින් පමණයි. නමුත් 2013/2014 අධ්‍යන වර්ශය සඳහා මේ උපකුළපතිවාරයා යටතේ ආරම්භ වුණ පළමු අධ්‍යයන වර්ශය සඳහා 40%කින් ගාස්තු වැඩි කළා. එදා ඒ වෙනුවෙන් අරගල කළ ශිෂ්‍යයෝ අදටත් ශිෂ්‍යභාවය අහෝසි කරගගෙන ඉන්නවා. ශිෂ්‍යයෝ හිතුවේ එතනින් මේක නවතියි කියලා. නමුත් මේ වසරේ 50%ක්න අධ්‍යයන ගාස්තු වැඩිකරනන යෝජනා වෙලා තියෙනවා. එම ගාස්තු වැඩිවීම සිසුන්ට දරාගන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් ඉංජිනේරු තාක්ෂණ පීඨයට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව 3000ක් පමණ වුණත් මේ වසරේ මෙතෙක් ඇතුළත් වෙලා තියෙන්නේ ශිෂ්‍යයෝ 300ක පමණ ප‍්‍රමාණයක්. 
පෙර තිබූ ක‍්‍රමයට අනුව ස්වාභාවික විද්‍යා පීඨය තුළ ශිෂ්‍යයකුගෙන් අයකළේ වසරකට රුපියල් 25,000කට ආසන්න මුදලක්. නමුත් මේ වසරේ වසරක ගාස්තුව රුපියල් 44,000ක් වෙලා. එම ගාස්තුවත් අධ්‍යයන ගාස්තුව විතරයි. මේ වන විට පාහසුකම් ගාස්තු සඳහා වෙනම් මුදලක් අයකිරීමට පටන් අරගෙන. පුස්තකාල ගාස්තු, ලියාපදිංචි ගාස්තු මේ සියල්ල වැඩි කරලා තියෙන්නේ. ඊට අමතරව වසර අවසානයේ ශිෂ්‍යයා විසින් භාවිතා කළ රසායනික ද්‍රව්‍ය සඳහා ගාස්තු කියලා තවත් බිලක් එනවා. ඒ ශිෂ්‍යයාට විෂයන් කිහිපයකට ප‍්‍රායෝගික පරීක්ෂණ තිබුණා නම් තවත් රුපියල් 5000ක් 6000ක් පමණ ගාස්තුවක් එකතු වෙනවා. ඒ සියල්ල එකතු වෙනකොට රුපියල් 50,000, 60,000 ඉක්මවන ගාස්තුවක් සකස් වෙනවා. ඉංජිනේරු පීඨයේ පදනම් පාඨමාලාව මීට කලින් 13,000ක් වෙලා තිබුණේ නම්ත් මේ වර්ශයේ 43,000 දක්වා වැඩි වෙලා.  
විවෘත විශ්වවිද්‍යාලය තුළ විශාල වශයෙන් නේවාසිකාගාර පහසුකම් තිබුණේ නෑ. නමුත් දිනකට රුපියල් 25ක මුදලකය මෙතෙක් කල් නේවාසිකාගාර පහසුකම් ලබා දුන්නා. නමුත් මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කරලා තියනවා පෙර ගෙවුම් ක‍්‍රමයකට නේවාසිකාගාර පහසුකම් ලබාදීමට. රුපියල් 1000කට පෙර ගෙවුම් කාඩි එකක් ගන්න  ඕන. එවැනි කාඞ් වසරකට එකයි ලැබෙන්නේ. දිනකට කොටුව බැගින් කැපෙනවා. ඒ කාඩි එකට අනුව ශිෂ්‍යයෙකුට නේවාසිකාගාර පහසුකම් ලබාගන්න පුළුවන් වෙන්නේ දින 30යි. නේවාසිකාගාර පහසුකම් දින 30කට සීමා කරලා. දුර පළාත්වල ඉන්න ශිෂ්‍යයින්ට අනිවාර්යෙන් දින 30කට වැඩිය නේවාසිකාගාර පහසුකම් ලබාගන්න වෙනවා. නෙවාසිකාගාර පහසුකම් දෙන්නේ දින 30යි නම් ඉතිරි දිනවල ශිෂ්‍යයෝ ඉනනේ කොහෙද? මීට අමතරව නෙවාසිකාගාරය ඉවත්කිරීමේ ඉඩකඩකුත් තියෙනවා. මොකද නේවාසිකාගාරය ඉවත්කරනවා කියන සිංහනාදය උපකුළපතිවරයා විසින් කරලා තියෙනවා. 
මේ විදියට විශ්වවිද්‍යාලය කඩා වැටෙනකොට විශ්වවිද්‍යාල පරිපාලනය කියන්නේ විශ්වවිද්‍යාලය පාඩු ලබනවා කියලා. එසේ නම් ඔවුන්ගේ තර්කයට අනුව විශ්වවිද්‍යාලය ලාභ ලබන ආයතනයක් බවට පත්විය යුතුයි. නමුත් විශ්වවිද්‍යාලයක් යනු ලාභ උපයන ආයතනයක් නොවිය යුතුයි. 
මේ රටේ 200,000 අධික සිසුන් පිරිසක් උසස් පෙළ සඳහා පෙනී සිටිනවා නමුක් ඒකෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ සිසුන් 20,000 ක පමණ ප‍්‍රමාණයක්. ඒ ඉතිරිවන සිසුන් 180,000න් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට කැමති ශිෂ්‍යයාට ඒ සඳහා අවම අවස්ථාවක් විදියට විවෘත විශ්වවිද්‍යාලය තිබුණා. එය හෙටත් තිබිය යුතුයි. ඒ නිසා හෙට දවසේදී විවෘත විශ්වවිද්‍යාලය රැුකගැනීම සඳහා යන ගමන අඛණ්ඩව සිදුකරනවා ඒ සඳහා අරගල කිරීමට ශිෂ්‍යයො සූදානම්. අතීත ශිෂ්‍ය ප‍්‍රජාව ඒ සඳහා අනුග‍්‍රහය දක්වාවි. මේ රටේ පීඩිතයාගේ අයීතීන් අහිමිකරන බලවේගවලට එරෙහිව මහජනතාව නැගිටිය යුතුයි. මේ වන විට වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ ඒ ප‍්‍රගතිශීලී ගමන යනවා. අපිටත් ඒ ගමන යන්න පුළුවන්. ඒ වගේම ඒ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ යන ගමනට අපි හැමදාමත් සහයෝගය දක්වනවා.’’

No comments:

Post a Comment