Thursday, August 7, 2014

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඇතිව ඇති වර්තමාන තත්වය


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ වූයේ සැමට විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපනය ලබාදිමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනුව එක් ශිෂ්‍යකුට වැයවන මුළු මුදලින් කුඩා ප්‍රතිශතයක් ශිෂ්‍යයින්ගෙන් අයකරන අතර ඉතිරිය රජය මඟින් පියවනු ලැබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට මේ දක්වා ම පවතින්නේ මෙම ක්‍රමවේදයයි. යම් යම් හේතූන් මත උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වුනු, රැකියා වල නියුතු සහ මූල්‍ය අහිගකම් හේතුවෙන් පුද්ගලික අධ්‍යාපනයට විශාල මුදලක් වැයකල නොහැකි සිසුන් හට තම ප්‍රථම සහ පශ්චාත් උපාධි අවස්ථා සපුරා ගැනීමට මහඟු අවස්ථාවක් මෙමඟින් ලබා දී තිබේ.

වර්තමානය වන විට විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බහුතරයක් සිසුන් උසස් පෙළ සමඟ වෙනත් විශ්වවිද්‍යාලයකට සුදුසුකම් නොලැබූ හෝ පුද්ගලික  අධ්‍යයාපන ආයතනයක් හරහා විශාල මුදලක් ලබාදී අධ්‍යාපනය ලැබීමට නොහැකි ආර්ථික මට්ටම් වල සිසුන් වෙති. එයිනුත් බහුතරයක් මේ රටේ අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ය. වැඩිමනක් සිසුන් අධ්‍යාපනය සඳහා වන වියහියදම් සොයා ගනු ලබන්නේ ඉගෙනුම ලබන අතරතුර අර්ධ-කාලීන රැකියා වල නිරත වෙමිනි. මෙවැනි තත්වයක් යටතේ, වර්තමාන විශ්වවිද්‍යාල පාලක සභාව විසින් 2013/14 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි 40% පමණ ශිෂ්‍ය ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කර ඇති අතර එය මෙම වසරේ ඇතැම් පාඨමාලා සඳහා 150% දක්වා වැඩිවීමක් සිදුකර ඇත. මෙය විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන සිසුන් බහුතරයකට දරා ගත නොහැකි ගාස්තු වැඩිවීමකි. මේ හේතුවෙන් අකමැත්තෙන් වුවද තම උපාධි පාඨමාලා අතරමග නතර කිරීමට සිදුවන සිසුන් ද වෙති.

එසේම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මෙරටේ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපන ක්‍රමයට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රාජ්‍ය විශ්වවිද්‍යාලයකි. මේ සියලු කරුණු සැලකූ විට, මෙම නව ගාස්තු සංශෝධනය නිදහස් අධය්‍යාපන ප්‍රතිපත්තීන් වලට පටහැනියි පමණක් නොව සාදාචාරාත්මක බවින් ද  තොර එකකි.


මීට මාස කිහිපයක ඉහතදී අත්තනෝමතික ලෙස ඉවත් කරන ලද, සිසුන් විසින් අධ්‍යයාපන කටයුතු සඳහා රැදී සිටි ඩෙස්-බංකු වෙනුවට ලබාදෙන බවට පොරොන්දු වූ පොදු අධ්‍යයන ශාලා කිසිවක් තවමත් ලබා දී නැත. එසේම, යම් ගාස්තු අය කිරීමක් යටතේ පවා නේවාසිකාගාර, පරිගණක විද්‍යාගාර සහ අනෙකුත් අධ්‍යයන සහ සුබසාධන සේවාවන් වල බරපතල අඩුපාඩු පවතී.
එසේම, නිත්‍යානූකූල බලතල ඇති ශිෂ්‍ය සංගම් විසුරුවා හැර වසර එකහාමාරකකට වඩා වැඩි කාලයක් ගතවී ඇත. මේ තත්වය තුල සිසුන්ට තමන්ගේ ගැටළු පරිපාලනය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට තිබු එකම ක්‍රමවේදය අහෝසිකර දමා ඇත. මෙය අසාධාරණ හා බරපතල ප්‍රශ්න මතුකරවන අත්තනෝමතික තීන්දුවක් වශයෙන් අපි දකිමු. පසුගිය මාස කිහිපයකට ඉහත ආචාර්යවරියකට පිහි පහරක් එල්ල කිරීමේ කණගාටුදායක සිද්ධිය ද ක්‍රමවත් හා ස්වාධීන ශිෂ්‍ය සංගම් ව්‍යුහයක් තිබුනේ නම් වලක්වා ගැනීමට හැකියාවක් තිබූ බව අපි විශ්වාස කරමු.

රටේ පවතින නිදහස් අධයාපන ක්‍රමවේදය අනුව සෑම පුද්ගලයකුටම පළමු උපාධිය දක්වා නොමිලයේ අධ්‍යාපන ලබාගැනීමේ අයිතියක් ඇත. සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හා සම්පත් හිඟකම මෙන්ම තවත් විවිධ හේතුන් නිසා මෙම අවස්ථාව ලබාගැනීමට නොහැකි වූ අති විශාල සිසුන් ප්‍රමාණයක් මේ දක්වා විවෘත විශ්වවිදයාලය හරහා තමන්ගේ අරමුණූ ඉටුකරගෙන ඇත.

පසුගිය දශක තුන පුරාම විවෘත විශ්වවිද්‍යාලයේ අරමුණ වුයේ මුදල් ඉපයීම නොවේ. නමුත් උප කුලපති තුමා විසින් විවෘත විශ්වවිදයාලය මුදල් ඉපයීම මූලික කරගත් අධ්‍යාපන ආයතනයක් බවට පත්කිරීමේ උත්සාහයක යෙදෙන බව පැහැදිලිවම පෙනෙන්නේ යැයි කණාගාටුවෙන් වුවද පැවසීමට සිදුවේ.

    උපකුලපතිතුමා   විසින් විශ්වවිද්‍යයාල සංවර්ධනය ලෙස සලකන්නේ භෞතික සම්පත්, ගොඩනැගිලි වල සංවර්ධනය පමණක් බව පෙනේ. මන්ද, ලාංකීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී 4 වන ස්ථානයේ තිබූ විවෘත විශ්වවිදයාලය පසුගිය මාස කිහිපය තුල පමණක් 7 වන ස්ථානය දක්වා පහල බැසීමක් සිදුව ඇති විටකදී පවා ඔබ විසින් අධ්‍යයන කටයුතු සංවර්ධනය වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගනු වෙනුවට තව තවත් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බවට බාධා වන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉන්නා බව පැහැදිලිවම පෙනෙන බැවිනි.


එබැවින් මෙම ක්‍රියාපිලිවෙත, විවෘත විශ්වවිද්‍යාලය පුද්ගලීකරණය කිරීමේ න්‍යයාපත්‍රයක කොටසක් බව අපි විශ්වාස කරන අතර, එය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු

No comments:

Post a Comment